සිංහල වූ මගේ කුල පරම්පරාව අවුරුදු දෙදහස් දෙසියයක් අඛණ්ඩ ව ම බෞද්ධ වී ඇත. මගේ කේන්ද්‍රයේ හැටියට මා ඉපදී ඇත්තේ බු.ව.2408 දී හෙවත් ක්‍රි.ව.1864 සැප්තැම්බර් මස 17 වැනි දා ය. කොළඹ ප්‍රධාන පන්තියේ බෞද්ධ පවුලක මගේ පරම්පරාගත නිවසේ දී මම උපත ලද්දෙමි. ඉන්දියානු සාගරයේ මන්දමාරුතයෙන් සසල වූ පොල්, අරළු හා කුරුඳු ගසක් ද, දොඩම් වැනි පලතුරු ගසක් ද, රක්ත වර්ණ හා දම් වර්ණ අශෝක මලින් ද, ගිනිගෙන දැවෙන සල් මල්වලින් ද යුක්ත වූ උද්‍යානවලට මුහුණ ලා පිහිටි පුළුල් ආලින්ද මගේ ආදි ම මතකයෝ වෙති. කුඩා දරුවකුට උද්‍යානය චමත්කාර ලෝකයකි. දැවැන්ත මල් ගස් මත ගී ගයන කුරුල්ලෝ පියැඹූහ. ගොඩ කැස්බෑවෝ ඉර අව්වෙහි අව්ව තැපූහ. විෂකුරු සර්පයෝ පවා පටළැවී ගිය පඳුරු යට ලාලිත ගමනින් බඩගා ගියහ. ජීවත් වන අනෙක් සියලු සතුන් මෙන් සර්පයෝ ද බෞද්ධයන් තමනට හිංසා පීඩාවන් නො කරන බව දැන ඔවුන් සමඟ ජීවත් වූහ.
මගේ පවුලේ සෑම දෙනා ම සැදැහැවත් බෞද්ධයෝ වූහ. එබැවින් මගේ මවට අසාගෙන සිටීමට සූත්‍රවලින් කොටස් ද, ගාථා ද කීමට මට සිදුවිය. මේ නිසා ගාථා හා පිරිත් මට කටපාඩමින් මගේ මව ඉදිරියේ දී කිව යුතු විය. ඇය මා කැමති පැණි රස ගෙනැවුත් තබා ගෙන ගාථා හා පිරිත් කටපාඩම් දුන්නායින් පසු ඒවා මට කන්න දෙන්නීය. ඒ සත් කාර්යයට පරිත්‍යාගයක් වශයෙන් මගේ මව මා කැමති රස කැවිල්ලක් සෑම විටක ම සූදානම් කරගෙන සිටියාය.
![]() |
මල්ලිකා හේවාවිතාරණ ළමාතැනී (අනගාරික ධර්මපාලතුමාගේ මව) |
අසල්වැසි දුප්පත් ගෙදරක ගැහැනියකට දරුවෙකු ලැබෙන්නට යන බව ආරංචි වූ වහා ම එතැනට යන පළමු වැනි තැනැත්තිය මගේ මව යි. ඇය එහි ගොස් ඒ අවස්ථාවට අවශ්‍යය උදව් කරයි. දරුවාට ඇඳුම් පැළඳුම් මිලයට ගෙන දෙයි. අසනීපයක්, දුකක් හෝ අතවරයක් වූයේ කොතැනක ද එතැන මගේ පුංචි අම්මා සුර දූතිකාවක මෙන් ඒ පෙනී සිටියා ය.
![]() |
දොන් කරෝලිස් හේවාවිතාරණ මුදලිතුමා (අනගාරික ධර්මපාලතුමාගේ පියා) |
මම මගේ පවුලේ අය සමඟ මසකට වරක් පසළොස්වක පෝය දිනවල සිල් සමාදන් වීමි. විසි හතර පැය ම භාවනාවෙන් ද, බෞද්ධ සූත්‍රවලින් හා අට්ඨකථාවලින් කොටස් කියැවීමෙන් ද ගත කළෙමි.
පොහෝ දින උදේ 4 ට අවදි වී මුහුණ කට සෝදා ගෙන සුදු වස්ත්‍ර හැඳ, මගේ පියාගේ උයනින් මල් කඩාගෙන ආත්තා හා මුත්තාත්, මව්පිය දෙදෙනාත් සමඟ අසල පන්සලට ගොස් ශාන්ත සුන්දර බුද්ධ ප්‍රතිමා ඉදිරියේ ගාථා කියමින් මල් පූජා කළෙමි. විහාර මන්දිරයේ දී මඳ ආලෝකයකින් යුත් ඒ කුටියේ දී භික්ෂූන් වහන්සේලා ගාථා කියද්දී අපි තණ්හා-කාමාස්වාදයන් අතහැර දමා සත්‍යයට කැපවීමු. අනාගත උත්පත්තියක දී වඩාත් ආධ්‍යාත්මික වීම සඳහා අපි මුළු පැය විසි හතර ම සිත පිරිසිදු කර ගැනීමට උත්සාහ දරමින් ගත කළෙමු.
මා උපන් අවධියේ කොළඹ නගරයෙහි වැඳුම් පිදුම් කරන්නට බෞද්ධ විහාරස්ථාන එතරම් තිබුණේ නැත. පසළොස්වක පොහෝ දිනවල සිල් සමාදන් වීම සඳහා බෞද්ධයෝ කොළඹ සිට සැතපුම් 10 ක් පමණ දුර පිහිටි කැලණියට ගියහ. කොළඹින් සැතපුම් 7 ක් දකුණෙන් පිහිටි රත්මලානේ ද බෞද්ධ විහාරයක් තිබිණ. එය උගත් වලානේ හාමුදුරුවන් නිසා ප්‍රසිද්ධියට පත් ව තිබුණේ ය.
මා උපන් කාලයේ දී කොළඹ මවුපියන්ට දරුවෙකු උපන් විට ද දරුවා මවුපියන් නමට ලියාපදිංචි කරනු සඳහා පල්ලියකට ගෙන යා යුතු විය. එහි දී දේවගැතිවරයා දෙමවුපියන්ගේ නම් ද, දරුවාගේ උපන් දිනය ද සටහන් කර ගෙන දරුවාට බයිබලයේ සඳහන් නමක් තබයි. බ්‍රිතාන්‍යයට යටත් ප්‍රදේශවල පැවැති තත්ත්වය එයයි. බුදුන් වහන්සේගේ ආගම ඇදහීම ද තහනම් ය. ලංකාවේ මුහුදුබඩ පළාත් ලන්දේසීන්ගේ පාලනය යටතේ පැවැති ලන්දේසි යුගයේ දී බෞද්ධයන්ට ක්‍රිස්තියානි වීමට බල කරන ලදි. මේ සිරිත බ්‍රිතාන්‍ය පාලනය යටතේ දී ද දිගට ම පවත්වා ගෙන එනු ලැබී ය.
මේ සිරිත 1884 දි අවලංගු කරන ලද්දේ බෞද්ධ කටයුතු පිළිබඳ ව ලන්ඩනයට දූත මෙහෙවරක යෙදී බෞද්ධයන් වෙනුවෙන් යටත් විජිත ලේකම්තුමාට සෙන්පති ඕල්කට්තුමා විසින් කරුණු ඉදිරිපත් කරනු ලැබීමෙනි.
(අනගාරික ධර්මපාලතුමාගේ ස්වයං ලිඛිත චරිතාපදානය ඇසුරිනි.)
No comments:
Post a Comment