Sunday, November 27, 2016

අනගාරික ධර්මපාලතුමාගේ ස්වයං ලිඛිත චරිතාපදානය (පස්වැනි කොටස) "ජපානයට යාමට තිබූ අභිලාෂය ඉටු විය"




1887 දී  ෆෝට්නයිට්ලි රිවීව් සඟරාවේ පළ වී තිබුණු ලිපියක් කියවීමෙන් මට ජපානයට යෑමේ ආසාවක් පහළ විය. මේ අභිලාෂය 1889 දී ඉටු විය. 1889 දී ජපානයේ බෞද්ධයන්ට සෙන්පති ඕල්කොට් තුමා ලංකාවේ ඉටු කළ සාර්ථක කාර්යභාරය දැන ගන්නට ලැබීමෙන් එතුමා ජපානයට කැදවාගන යෑමට ඔවුහු නියෝජිතයකු එවුහ. 1888 දෙසැම්බර් මාසයේ දී ඔහු කොළඹ පැමිණියේ ය. ඔහු ආපසු යන තුරු ම මම ඔහුට සංග්‍රහ කළෙමි. මෙහි දී ඔහු මා ගැන කෙතරම් පැහැදුණේ ද යත් ඔහු සමග ජපානයට යෑමට එන ලෙස මට ආරාධනා කළේ ය. ඔහු මා කැදවාගෙන යෑමට සෙන්පති තුමා ද පොළඹවා ගත්තෙන් අපි තිදෙනා ජපානයට ගියෙමු. හිරු උදා වන ඒ රටෙහි දී සෙන්පති ඕල්කට් තුමා ජයග්‍රාහාත්මක අන්දමින් සංචාරය කළේ ය.

ඕල්කොට් තුමා පෙබරවාරි මස 10 වැනි දින ජපන් අධිරාජ්‍යයේ පැරණි අගනුවර වු තියෝතෝව කරා පැමිණියේ ය. ඒ අනුස්මරණීය දූත ගමනේ දී ලංකා බෞද්ධයන්ගේ නියෝජිතයා වශයෙන් එතුමා සමග යෑමේ භාග්‍ය මට ලැබිණ. එදින නගරයේ භික්ෂුන් වහන්සේලා විසිනුත්, ගිහියන් විසිනුත් එතුමා පිළිගනු ලැබු උත්කර්ෂවත් විලාසයෙන් ඔවුන් ආගමට කෙතරම් ආදරයක් දක්වන්නේ ද යන්න පළවුයේ ය. ජපානයේ වෙස්ට්මිනිස්ටර් දෙව් මැදුර වන වෙ-ඕ-ඉන් විහාර දේවස්ථානයේ මහා ශාලාවේ දී පන්දහසක් පිරිස ඉදිරියේ සෙන්පති ඕල්කොට්තුමා සිය පළමු වන දේශනය පැවැත්වීය. කියෝතෝවේ මහා ප්‍රාකාරය පවා වෙවුලවු ගප්තා හඩ මැද්දේ ජපානයේ අභිනව ව්‍යවස්ථාව මේ අන්දමින් ප්‍රකාශයට පත් කිරීම අද්වීතික සහසිද්ධියක් ලෙස සැලකිය යුතුය.

සෙන්පති ඕල්කොට් තුමා ජපානයේ විසූ සාර මාසය තුළ දී අධිරාජ්‍යයේ සෑම වැදගත් ස්ථානයකට ම යමින් මහජනතාවගේ උද්යෝගය වර්ධනය වන අයුරින් බුද්ධ ධර්මය ගැන දේශනා පැවැත්වීය. ඒ දූත ගමන අතිශයින් ම සාර්ථක වුයේය. ක්‍රිස්තියානි මිෂනාරිගේ වැඩ කටයුතුවලට ඉන් මරු පහරක් වැදුණේය. තරුණ ජපානය සිංහයකුගේ ධෛර්යයෙන් වැඩ කටයුතු ආරම්භ කළාය.

අද ජපානයේ බුද්ධාගම පිළිබඳ ව සඟරා 400ක ට අධික ගණනක් ප්‍රකාශයට පත් වෙමින් තිබේ. දේශපාලකයෝ ද, මහා රාජ්‍ය තන්ත්‍රඥයෝ ද බෞද්ධ පක්ෂයට මුළු සිතින් ම ආධාර දෙන බව එළිපිට ම ප්‍රකාශ කර ඇත්තාහ. බුද්ධාගම වෙනුවෙන් පහළ වී ඇති උද්යෝගය කෙතරම් ද යත්, සෙන්පති ඕල්කොට්තුමා ආරම්භ කළ පරිද්දෙන් බෞද්ධ කටයුතු ඉදිරියට ගෙන යෑම සදහා ජපන් තරුණයන් 400 දෙනෙක් සංගමයකට සංවිධන වී ඇත. කියෝතෝවේ මහා අධ්‍යාපන ආයතන දෙකක් වන කිශි ආයතනය හා හිගාශි හොංචන්දිස් ආයතනය දැනටම ව්ලැඩ්ටොස්ටොක්වලට හා බටහිර ඉන්දීය කොදෙව්වලට, ජනයා අතර බුද්ධ ධර්මය ව්‍යාප්ත කරවීමට ධර්ම දූත පිරිස් යවා ඇත. 1891 ඔක්තොම්බර් 31 වැනි දින බුද්ධගයා ශුද්ධ භූමියෙහි දී පවත්වන ලද ඵෙතිහාසික සාකච්ඡාවට සහභාගිවනු පිණිස ජපානයේ බෞද්ධ ජනතාව නියෝජනය කරන විශේෂ නියෝජිතයෙක් ගත වූ ඔක්තොම්බර් මාසයේ දී බුද්ධගයාවට පැමිණියේය. ජපන් ශිෂ්‍යයෝ කීප දෙනෙක් දැන් ලංකාවේ සුමංගල නායන මා හිමියන්ගෙන් පාලි භාෂාව ඉගෙන ගැනීමෙහි යෙදී සිටිති. ඒ හැර තවත් දෙදෙනෙක් ඉන්දියාවේ සංස්කෘත භාෂාව හදාරමින් සිටිති. ඉන් එක තැනැත්තෙක් බරණැසෙහි ද අනෙක් තැනැත්තා බොම්බායේ ද වෙසෙති.

මීට වර්ෂ කීපයකට ඉහත දී සන්ත්‍රාසය දනවන සේ ඕපාදූප පතුරවන්නෝ හිරු උදාවන අධිරාජ්‍යයේ බුද්ධාගම පිරිහෙමින් පවතින බව ද බටහිරින් එන ආලෝකයක් උදාවෙමින් පවතින බව ද යුරෝපයේ හා ඇමෙරිකාවේ පුවත් ප්‍රචාරය කර හැරීමේ අවස්ථාව පැහැර නො හැරියෝ ය. සිය හිස තබා ගන්නට තැනක් නොතිබූ මිනිස් පුත්‍රයාගේ ශුභාරංචිය වැටුප් ලද මිෂනාරීන් ශිෂ්ටාචාරයේ දිලිසෙන සරුවපිත්තලය ලබා ගැනීමට යත්න දැරිය යුතු මහාර්ඝ වස්තුව ලෙස මහ ජනතාව ඉදිරියේ හුවා දැක්වුහ. සිය රටට හා ආගමට ආදරය කළ දේශප්‍රේමීහු අතළොස්සක් දෙනා, ඈත ක්ෂිතිජයෙහි දෘශ්‍යමාන වන්නට ගත් අන්ධකාර සංඥාව දුටුවෝ, සිදුවන්නට යන්නා වූ මහා විපත්තියෙන් රටත්, ආගමත් බේරා ගැනීමට වහ වහා කටයුතු කළහ. බුද්ධාගමට සතුරු වුවෝ, ජපන් චින්තනය නැමැති බිදුණු නෞකාව, බටහිර ලෝකායතවාදය නැමැති වැලි පරයෙහි හැපී සුණු විසුනු වී යනු ඇතැයි අනාවැකි කීහ. ජපානයේත් බුද්ධාගමේත් වාසනාවකට මෙන් ළග එන්නා වූ අන්තරායෙන් නැව බේරා ගෙන පැදවීමට නැව්පතියා සමත් විය. ඒ නැව් පතියා සෙන්පති ඕල්කොට් තුමා වුයේය.

ජපානයෙන් පැමිණ ඇති අලුත්ම ප්‍රවෘත්ති සිත ධෛර්යමත් කරවන සුළු ය. ඉන්දු බෞද්ධ සමාගමෙහි කටයුතු කරනු සදහා ඉතා ම දක්ෂ බෞද්ධයන් කිප දෙනෙක් එයට බැදී ඇත්තාහ. ෂික්ගොන්සු නිකායේ නායක හිමියන් වන ශකු උන්සිසෝ වජෝ හිමියෝ මේ කටයුතු සදහා ඉතා බුද්ධිමත් අන්දමේ උනන්දුවක් දක්වන්නාහ. ඉන්දියාවේ බෞද්ධ ප්‍රචාරක වැඩ කටයුතු සදහා නිර්ලෝභී ව විය පැහැදම් කිරීමට ජපන් බෞද්ධයන් කැමැත්තෙන් සිටින බව ද, බුද්ධගයාවේ ස්ථිර ව පදිංචි වීම සදහා බෞද්ධ භික්ෂුන් වහන්සේලා කීප නමක් යථා කාලයේ දී එවීමට සමාගම බලාපොරොත්තු වන බව ද එහි ලේකම් වන හොරිඋචි මහතා මට දන්වා එවීය.

1893 දී චිකාගෝවේ ප්‍රදර්ශනය හා ඒකාබද්ධ ව පවත්වන්ට නියමිත ආගම් පිළිබද පාර්ළිමේන්තුවෙහි උත්තර බුද්ධාගම  නියෝජනය කරනු පිණිස ජපන් බෞද්ධ ත්‍රිපිටක නාම මාලාවෙහි කර්තෘ වූ ද, තෝකියෝවේ ඉම්පීරියල් විශ්ව විද්‍යාලයෙහි සංස්කෘත පිළිබද මහාචාර්‍යවරයා වූ ද, බුනයිඋ තත්ජිඕ, එම්.ඒ (ඔක්සන්) මහතා ජපන් බෞද්ධයන් විසින් පත් කර ඇත්තේය.

ක්‍රි.ව 540 කිමෙයි අධිරාජයාගේ රාජ්‍ය සමයේ දී බුද්ධාගම කොරියාවෙන් ජපානයට ගෙන එනු ලැබීය. එසේ බුද්ධාගම පැමිණියේ ජනප්‍රිය ඇදහිලි ක්‍රමයක් වශයෙන් නො ව ගැඹුරු දර්ශනික ආගමක් වශයෙනි. එහි ප්‍රතිඵලයක් වශයෙන්, බුද්ධාගම මුලින් ම වැළඳ ගත්තේ, උසස් අධ්‍යාපනයක් ලද්දා වූ ද, උසස් වංශවලට අයත්වූ ද රාජ කුමාරවරුන්, දේශපාලකයන් හා රණකාමීන් ආදී අය යි. මේ අලුත් ආගම 7 වන  ශත වර්ෂය දක්වා මේ තත්වයෙන් පැවතුණේ ය. මේ කාලයේ දී අනුස්මරණිය "තක්වා" විප්ලවය සිදු විය. මහජනතාව අතර කලකිරීමේ ලකුණු පෙනෙන්නට පටන් ගත්තේය. අලුත් රාජ්‍ය පාලන ක්‍රමයට ජනතාව විරුද්ධ වුහ. මෙහි දී ඉතා නුවණැති පාලකයකු වූ තෙන්චි අධිරාජයා මෙතෙක් රදළයන්ට පමණක් සීමා වී තිබුණ දාර්ශනික බුද්ධාගම ජනප්‍රිය ආගමක් බවට පත් කිරීමට යුහුසුලු විය. ඉක්බිති ව පැවිද්දන්ගේ ද, ඔවුන්ගේ ආගමේ ද බලපෑමෙන් ජනතාවගේ සිත දිනා ගන්නට අධිරාජයා උත්සාහ දැරුවේය. ශත වර්ෂ කීපයක් ගත වන තුරු බුද්ධාගම ඇත්ත වශයෙන් ම රදළයන්ටත්, උගතුන්ටත්  සීමා වූ ආගමක් වශයෙන් පවතිණ. බුද්ධාගම ජනප්‍රිය ආගමක් බවට පත් කිරීම සම්පූර්ණ කරන ලද්දේ තොකුගාවා රාජ වංශිකයන් විසිනි. තොකුගාවා වංශිකයෝ ශිමබරාහි ඇති වූ ක්‍රිස්තියානි කැරැල්ලක් අමාරුවෙන් මැඬපවත්වා තම තමන්ගේ ප්‍රදේ වල නාම ලේඛන භාර ව කටයුතු කිරීම පන්සල් වලට පවරා, බුද්ධාගම බොහෝ සේ රාජ්‍ය ආගම බවට පත් කළහ.

1892 මාර්තු 19 වැනි දින පළ වු ජපැන් මේල් නැමැති පුවත් පතෙහි මෙසේ සදහන් වෙයි. "හෂිමොතෝ සෙනොෂින්  නැමැති එක්තරා මහතෙක්, මීට අවුරුදු  විස්සක කාලයක සිට ජපන් ජාතිකයන්ට ක්‍රිස්තියානි ආගම වැළද ගැනීමේ  තහනම් කරමින් පනවා තිබු දැන්වීම් පුවරු සදහා සෑහෙන මුදලක් ගෙවන  බවට නිෂි නිෂි  ප්‍රවෘත්ති පත්‍රයෙහි දැන්වීමක්  පළ කර ඇත. විදේශිය ආගම් රටෙහි පැතිරීම වළක්වනු සදහා ජපානය ගන්නා ලද  අවසාන නිළ ප්‍රයත්නය ඒ කාර්යාලීය නිවේදනය වෙයි. මේ නිසා ඒවා ඵෙතිහාසික වැදගත්කමකින් යුතුය."

ජපන් කාන්තා අධ්‍යාපනික සංගමයේ සභා රැස්වීමක් පසු ගිය මාර්තු මස 19 වැනි දින රොකුමෙයි - කාන්හි පවත්වනු ලැබීය. මෙයට කාන්තාවෝ තුන්සිය පන්සදෙනෙකුන්ට අධික සංඛ්‍යාවක් සහභාගි වූහ. සහභාගි වූවන් අතර සන්ජෝ කුමරිය ද සන්ජෝ ආර්යාව ද, මෝරි කුමරිය ද, සොයෙදා මහත්මිය සහ ශිරකාවා කසු මහත්මිය ද වූහ.

දැන් ශ්‍රීමත් එඩ්වින් ආර්නෝල්ඩ් මහතා තෝකියෝවේ ඉම්පීරියල් හෝටලයේ නතර වී සිටී. ඔහු මෙසේ ජපානයේ නතර වී සිටින්නේ ඉන්දියාවට යන අතර මග දී ය. කොතරම් කාලයක් නතර වී සිටී ද යන්න තව ම තීරණය කර නැත. එසේ වුව ද සැප්තැම්බර් හෝ ඔක්තෝම්බර් වන තුරු නතර වී සිටීමට ඉඩ ඇත.

ජැපෑන් වීක්ලි මේල්1 නැමැති ප්‍රවෘත්ති පත්‍රයෙහි මිෂනාරීන්ට විරුද්ධව ඉතා උණුසුම් වාදයක් මෙකල පළ වෙමින් පවතී. "නියම සත්‍යය" යන ආරුඪ නාමයෙන් මිෂනාරීන්ට විරුද්ධ ව  ලියන ලේඛකයා  1892 මාර්තු 26 වැනි දින මෙසේ දීප්තිමත් ප්‍රත්‍යුත්තරයක් සපයා ඇත.

"ජපන් ජාතිකයාගේ ආචාරශීලීභාවය අපගේ ආචාරශීලීභාවයට වඩා උසස් බව පුද්ගලික අත්දැකීමෙන්  ප්‍රකාශ කිරීමට මම එඩිතර වෙමි. අපට විභූතිමත් ආචාරධර්මීය විඥානවාදයක් ඇති බව සත්‍යයකි. එහෙත් අප එකිනෙකාට කරුණාව හා මෛත්‍රීය දැක්වීම අතිනුත්, අමද්‍ය පානයන් හා ප්‍රමාණය ඉක්මවා කටයුතු නො කිරීම අතිනුත්, අන්‍යෝන්‍යන්ට ආධාරෝපකාර කරගැනීම අතිනුත්, ප්‍රතිපත්තීන්ට ගරු කිරීම අතිනුත්, ඕනෑ ම පිටිසරබද නගරයක වසන්නා වූ ද, විදේශීය දුෂණයන්ගෙන් හා අගතිගාමීත්වයන්ගෙන් නො කෙලෙසී සිටින්නා වූ ද දිළිඳු දුප්පත් ජපන් ජාතිකයකුට අප සමාන කිරීමේ දී අප මිලේච්ඡයන්ගේ තත්වයට වැටෙන බව මම නිර්භය ව කියමි.

මම ජපන් ජනතාව අතර අවුරුදු ගණනාවක් ජීවත් වුයෙමි. ඒ අවුරුදු ගණනාවක කාලය තුළ දී, ඔවුන් අතර පහරක් හුවමාරු වීමක්වත්, බරපතල කෝලාහල සිදු වනුවත්, නින්දා සහගත සිදුවීමවත් ආහාර හා නිවෙසක් නොමැති ව කිසි ම කෙනෙකු කාලකණ්ණි තත්වයට වැටී සිටිනුවත් නොදුටුවෙමි. එබඳු ජනතාවක් අතරට මිෂනාරීන් එවීම හුදු මිලේච්ඡ ක්‍රියාවකි." ඉක්බිති ව ඒ ලේඛකයා මෙසේ ද පවසයි. "බුද්ධාගමෙහි උගන්නනවාට වඩා ක්‍රිස්තියානියෙහි උගන්වති යි විස්වාස කිරීම ගැන නූගතුන්ට සමාව දිය හැකි ය. නූගත්තු මිෂනාරීන්ට ආධාර දෙති. එහෙත් බුදුන්ගේ ධර්මය වඩා උසස් බවත්, වඩා උතුම් බවත් වඩා හොඳ බවත් චින්තකයා දනී. ස්පාඤ්ඤවරුන් විසින් ඇමෙරිකාවේ දී කරන ලද ඝාතන, ක්‍රිස්තියානියෙහි  හා දෙවියන් වහන්සේගේ නාමයෙන්  යුරෝපයේ 3,000,000 ක් ජනයා පණපිටින් ම පිලිස්සීම වැනි දේවල් බුද්ධාගමෙහි දක්නට නැත. සියලු ම භීෂණයන් සහිත කුරුස යුද්ධ, හියුගනොවරුන් ඝාතනය කිරීම, එංගලන්තයේ මන්ත්‍රකාරියන් ද මන්ත්‍රකාරියන් නොවන අය ද පිළිස්සීම - මෙ වැනි ය. ඒ අපරාධ හා සැසඳීමට බුද්ධාගම සිදු කර ඇත්තේ කුමක් ද? ලෝභකම්, අශිෂ්ටකම් හා මිනී මැරුම් පිළිබඳ සහිත බයිබලය, මේ සියලු ක්‍රෑරකම්වලටත්, අමානුෂිකකම්වලටත්, නීචකම්වලටත්, මහා යුක්තිය සපයන්නේය. බුද්ධාගමට එවැනි සාහිත්‍යයක් නැත්තේ ය. එහෙත් බෞද්ධ සූත්‍රවල නැති පවිත්‍ර චින්තනයක්, සාධු චින්තනයක්, හෝ සත්‍ය චින්තනයක් අන් කවර ම තැනකවත් නැත. ඤාණාන්විතව යුක්තිගරුක ව බයිබලය ඇමෙරිකානු පාසල්වලින් නෙරපා දමා ඇත. කුහකයන්ගේ ද, නිකායික ආධානග්‍රාහීන් ගේ ද ක්‍රෝධය මධ්‍යෙයහි යුරෝපීය මහ බලවත්තු ඤාණාන්විත ව ද, යුක්තිගරුක ව ද පොදු අධ්‍යාපනය ආගමෙන් ඉවත් කොට ගිහියන් අතට පත් කොට ඇත්තාහ."

ජපන් ජාතිකයන් ක්‍රිස්තියානි ආගමට හරවා ගැනීමට මිෂනාරීන්  විසින් යොදන ලද උපක්‍රමය ගැන "නියම සත්‍යය" මෙසේ පවසයි. "අලුතෙන් ආගමට හරවා ගන්නන් මිල දී ගත යුතු  යැයි අහිංසකයෝ නොදනිති. ඇතැම් විට මුදලට ඔවුහු මිල දී ගනු ලබති. ඇතැම් විට වෙනත් දේවල් විශේෂයෙන් ම පෙළඹවීම් මාර්ගයෙන් මිල දී ගනු ලබති. ඔබ ක්‍රිස්තියානිය වැළද ගතහොත් මම ඔබට ඉංග්‍රීසි උගන්වමි." "මේල්" පත්‍රයේ පළ වු වාර්තා අනුව අයිච්හි භුමි කම්පාවෙන් අසරණ වු ජනතාව අතරින් ක්‍රිස්තියානියට හරවා ගත් සංඛ්‍යාවෙන් තරම් මේ විහිළුව ප්‍රදර්ශනය වන්නේ අන් කවර දෙයකින් ද? පිරිසිදු ආචාර ධර්මයක් ගැන විස්වාස කරන්නෝ, වංක ලෙස සිය ආගමට මිනිසුන් හරවා ගැනීමට ඔවුන්ගේ අසරණ අනාථභාවයෙන් අයුතු ප්‍රයෝජන නො ගනිති. මධ්‍යතන යුගයේ මිෂනාරීන්  කිසිවකුගේ ආධාරයක් නැති ව උත්සාහයෙන් හා විස්වාසයෙන් යුතුව - ඇත්ත වශයෙන් නිග්‍රහ කටයුතු විස්වාසයක් වුව ද අවංක වු විස්වාසයකින් යුතු ව - කරන ලද දේ, ඔබේ වර්තමාන මිෂනාරීන් කරන්නට බලාපොරොත්තු වන්නේ සිය සුඛ විහරණය හෝ අගනාතර මුදල් පසුම්බියට හෝ හානියක් සිදු විය නො දී, හොඳින් ඔප දමන ලද කාල වර්ණ පාවහන් යුවළට මඩවලින් කෙලසීමක් හෝ සිය අනර්ඝ කමිසයට මලින වීමක් හෝ සිදු විය නො දී කුහකකමේ සහ විදේශිය ආධාරවල මාර්ගයෙනි."

1892 මාර්තු 26 වැනි දින දරන "දි ඇකඩම්" පුවත් පත මෙසේ කියයි. ජපන් කාන්තාවගේ මනෝහරිත්වය බොහෝ ලේඛකයෝ වාර්තා කර ඇත්තාහ. එහෙත් ඇයගේ විශිෂ්ටත්වය ඇදහිල්ලක් බවට උසස් කරන ලද්දේ හෙන්රි නෝර්මන් මහතා විසිනි.

"ස්වකීය මෛත්‍රී සහගත කාර්යයේ දී දයාභරිත කන්‍යා සොයුරියකගේ දෙනෙතින් පිටවන ආලෝකයත්, ස්වකීය පෙම්වතා එනතුරු මුහුද දෙස බලා සිටින කන්‍යාවකගේ මදහසත්, නික්ලිෂ්ට දරුවකුගේ හදවතත් ගෙන, ඒවා කාල වර්ණ කෙස් කළඹින් හිස සැරසී ගත් සුන්දර චමත්කාරජනක දේහයකට ගැබ් කොට, දිලිසෙන සේද ඇදුමෙන් සැරසූ කල නියම ජපන් කාන්තාවක් ලැබෙනු ඇත."

(අනගාරික ධර්මපාලතුමාගේ ස්වයං ලිඛිත චරිතාපදානය ඇසුරිනි.)

පරිගණක අක්ෂර සැකසුම : නාලක ප්‍රසන්න


No comments:

Post a Comment