Sunday, November 27, 2016

අනගාරික ධර්මපාලතුමාගේ ස්වයං ලිඛිත චරිතාපදානය (පස්වැනි කොටස) "ජපානයට යාමට තිබූ අභිලාෂය ඉටු විය"




1887 දී  ෆෝට්නයිට්ලි රිවීව් සඟරාවේ පළ වී තිබුණු ලිපියක් කියවීමෙන් මට ජපානයට යෑමේ ආසාවක් පහළ විය. මේ අභිලාෂය 1889 දී ඉටු විය. 1889 දී ජපානයේ බෞද්ධයන්ට සෙන්පති ඕල්කොට් තුමා ලංකාවේ ඉටු කළ සාර්ථක කාර්යභාරය දැන ගන්නට ලැබීමෙන් එතුමා ජපානයට කැදවාගන යෑමට ඔවුහු නියෝජිතයකු එවුහ. 1888 දෙසැම්බර් මාසයේ දී ඔහු කොළඹ පැමිණියේ ය. ඔහු ආපසු යන තුරු ම මම ඔහුට සංග්‍රහ කළෙමි. මෙහි දී ඔහු මා ගැන කෙතරම් පැහැදුණේ ද යත් ඔහු සමග ජපානයට යෑමට එන ලෙස මට ආරාධනා කළේ ය. ඔහු මා කැදවාගෙන යෑමට සෙන්පති තුමා ද පොළඹවා ගත්තෙන් අපි තිදෙනා ජපානයට ගියෙමු. හිරු උදා වන ඒ රටෙහි දී සෙන්පති ඕල්කට් තුමා ජයග්‍රාහාත්මක අන්දමින් සංචාරය කළේ ය.

Thursday, November 17, 2016

අනගාරික ධර්මපාලතුමාගේ ස්වයං ලිඛිත චරිතාපදානය (සිව්වැනි කොටස) "මම පරම විඥානාර්ථ සමාගමට බැඳී එහි වැඩ කළෙමි."




1880 මැයි මාසයේ දී පරම විඥානාර්ථ පිරිස ලංකාවට පැමිණීමෙන් ඇති වූ ආගමික අවදිවීම 1880 පානදුරාවාදයෙන් ඇති වූ අවදිවීමට පමණක් දෙවැනි විය. ගාල්ලෙන් ලංකාවට ගොඩබඩ සෙන්පති ඕල්කට්තුමාත්, එච්.පී.බ්ලැවැට්ස්කි මැතිනියත් රාජකීය අන්දමින් පිළිගනු ලැබූහ. ගාල්ලේ සිට කොළඹට ඔවුන් කළ ජයග්‍රාහී චාරිකාවේ දී පරම විඥානාර්ථ පිරිස දුටු දර්ශන පිළිබඳ සුන්දර වර්ණනයක් පරමවිඥානාර්ථවාදියා ජූනි කලාපයෙහි පළ වී තිබිණ. ජූනි මාසයේ දී ඔවුන් කොළඹට පැමිණි පසු සෙන්පති ඕල්කට්තුමා විසින් පැවැත්වීමට නියමිත ව තිබුණු පළමුවන දේශනය ඇසීමට මම පාසලේ සිට පයින් ම ගියෙමි. සියල්ලන් ම ආපසු ගොස් මගේ මාමාත් පියාත් පමණක් ඉතිරි වූ විට මම ඔවුන් සමඟ එකතු වීමි. මගේ මාමා ඒ වන විට බ්ලැවැට්ස්කි මැතිනිය සමඟ හිතවත් ව සිටියේ ය. මගේ මාමාත්, පියාත් ඔවුන්ට ආයුබෝවන් කී වෙලාවේ දී ඔවුන් සමඟ මම ද සිටියෙමි. ඔවුන් මගේ අත් අල්ලා ගෙන සෙල වූ විට මට ඇති වූ ප්‍රීතිය නිම්හිම් නැති විය.

අනගාරික ධර්මපාලතුමාගේ ස්වයං ලිඛිත චරිතාපදානය (තුන්වැනි කොටස) "මනුෂ්‍ය වර්ගයාගේ හිතසුව පිණිස ජීවිතය කැප කිරීමට අධිෂ්ඨාන කර ගතිමි."




මගේ ළමා කාලයේ දී මා ලබා තිබුණු බෞද්ධ පුහුණුව නිසා මායාසහගත සුඛයන්ගෙන් පිරි ලෝකය සෑම අන්දමක දුක් සහ වේදනාවලින් පිරි තාවකාලික නතර වීමේ ස්ථානයක් ලෙස මට තේරුම් කොස් තිබිණ. මගේ මේ අදහස මගේ වයස අවුරුදු 17 වන විට ස්ථිර විය. අවුරුදු දෙකක්වත් නො වූ මගේ බිළිඳු නංගී, හොඳ සනීපයෙන් හා ක්‍රීඩාශීලී ගතියෙන් පිරී ඉතිරෙමින් සිටියා ය. හදිසියේ ම අසනීප වූ ඈ ඊට පසු දින මිය ගියා ය. මෙයින් මම මගේ මව අතිශයින් ශෝකී දුක්බර තත්ත්වයකට පත් වූ අන්දම බලා සිටියෙමි. ජීවිතයේ දුක්බර තත්ත්වය පෙන්වා දෙන චින්තන විප්ලවයක් මා තුළ ඇති විය. මා හේතු කොට ගෙන කාන්තාවකට මෙබඳු ශෝකයක් ඇති වෙන්නට ඉඩ නො දෙමි යි මම තරයේ ඉටා ගතිමි.

අනගාරික ධර්මපාලතුමාගේ ස්වයං ලිඛිත චරිතාපදානය (දෙවැනි කොටස) "මගේ දෙමව්පියන්ට මිෂනාරී පාසල් තෝරා ගැනීම හැර කළ හැකි අන් දෙයක් නො වී ය."




මගේ වයස අවුරුදු දහය වන තුරු ම මම පිටකොටුවේ සිටියෙමි. ඊට පසු ව මම මගේ පියාට අයිති ව තිබුණු සුන්දර ගෙවත්තක් සහිත නිවෙසක් තිබුණු කොටහේනට පදිංචියට ගියෙමි. මගේ අටවැනි වියේ සිට දස වැනි විය දක්වා කාලය තුළ දී මම පෞද්ගලික සිංහල පාසලකට යවනු ලැබීමි. එහි දී ලංකාවේ පන්සල්වල දී මෙන් සිංහල පාඨ ග්‍රන්ථවලින් උගන්වන ලදි. මගේ සිංහල ගුරුවරයා නීති රීති තදින් ම පිළිපදින්නෙක් විය. හැම දෙයක් ම පිරිසිදු ව තබා ගැනීමේ ද, කායික පවිත්‍රතාව පවත්වා ගැනීම සඳහා ජලය බෙහෙවින් පාවිච්චි කිරීමේ අවශ්‍යතාවය ද මගේ ළපටි සිතෙහි තැන්පත් කිරීමට ඔහු බෙහෙවින් ආධාර වූයේ ය.

අනගාරික ධර්මපාලතුමාගේ ස්වයං ලිඛිත චරිතාපදානය (පළමු වැනි කොටස) "කොළඹ ප්‍රධාන පෙළේ බෞද්ධ පවුලක උපත ලද්දෙමි"




සිංහල වූ මගේ කුල පරම්පරාව අවුරුදු දෙදහස් දෙසියයක් අඛණ්ඩ ව ම බෞද්ධ වී ඇත. මගේ කේන්ද්‍රයේ හැටියට මා ඉපදී ඇත්තේ බු.ව.2408 දී හෙවත් ක්‍රි.ව.1864 සැප්තැම්බර් මස 17 වැනි දා ය. කොළඹ ප්‍රධාන පන්තියේ බෞද්ධ පවුලක මගේ පරම්පරාගත නිවසේ දී මම උපත ලද්දෙමි. ඉන්දියානු සාගරයේ මන්දමාරුතයෙන් සසල වූ පොල්, අරළු හා කුරුඳු ගසක් ද, දොඩම් වැනි පලතුරු ගසක් ද, රක්ත වර්ණ හා දම් වර්ණ අශෝක මලින් ද, ගිනිගෙන දැවෙන සල් මල්වලින් ද යුක්ත වූ උද්‍යානවලට මුහුණ ලා පිහිටි පුළුල් ආලින්ද මගේ ආදි ම මතකයෝ වෙති. කුඩා දරුවකුට උද්‍යානය චමත්කාර ලෝකයකි. දැවැන්ත මල් ගස් මත ගී ගයන කුරුල්ලෝ පියැඹූහ. ගොඩ කැස්බෑවෝ ඉර අව්වෙහි අව්ව තැපූහ. විෂකුරු සර්පයෝ පවා පටළැවී ගිය පඳුරු යට ලාලිත ගමනින් බඩගා ගියහ. ජීවත් වන අනෙක් සියලු සතුන් මෙන් සර්පයෝ ද බෞද්ධයන් තමනට හිංසා පීඩාවන් නො කරන බව දැන ඔවුන් සමඟ ජීවත් වූහ.

Tuesday, September 20, 2016

අනගාරික ධර්මපාලතුමා 1831 දී කළ ප්‍රකාශයක්



"මතක තියා ගනිල්ලා, කවදා හරි සුද්දෝ මේ රට දාලා යනවා. ඒත් උන් යන්නේ නිකං නෙමෙයි. උන්ගේ දරුවෝ වගේ කළු සුද්දෝ විසි තිස් දාහක් විතර බෝ කළාට පස්සේ. ඊට පස්සේ අපේ රට පාලනය කරන්නේ මේ කලු සුද්දෝ. උන් සිංහල භාෂාවට, සිරිත් විරිත්වලට වෛර කරනවා. උන් උඹලගේ දරුවන්ට උගන්නාවි ජාති ආගම් භාෂා භේදයක් එපා කියලා. එහෙම කියලා උන් ඉංගිරීසිය ම රජ කරාවි. පන්සල් වටේ පල්ලි කෝවිල් හදාවි. උඹලා උඹලෑ වෙනුවෙන් දියසේන කුමාරයා ඉපැදෙන කල් බලන් ඉන්නවා. උපදින්න ඉන්න දියසේනලා තිඹිරි ගෙයි දී ම මරා දමන්න මේ කළු සුද්දන්ට පුළුවන් බව මතක තියා ගනිල්ලා. අපේ හාමුදුරුවන්ට උන් එදාට ඉනා බේත් දෙනවා. ඉන් පස්සේ උඹලෑ කෙල්ලන්ට කොල්ලන්ට ඇටි කෙහෙල් කාපු රිලව් වගේ නියෝ නියෝ ඉන්න සිද්ධ වේවි."

අනගාරික ධර්මපාලතුමා 1831 දී කළ ප්‍රකාශයකි.