Thursday, November 17, 2016

අනගාරික ධර්මපාලතුමාගේ ස්වයං ලිඛිත චරිතාපදානය (තුන්වැනි කොටස) "මනුෂ්‍ය වර්ගයාගේ හිතසුව පිණිස ජීවිතය කැප කිරීමට අධිෂ්ඨාන කර ගතිමි."




මගේ ළමා කාලයේ දී මා ලබා තිබුණු බෞද්ධ පුහුණුව නිසා මායාසහගත සුඛයන්ගෙන් පිරි ලෝකය සෑම අන්දමක දුක් සහ වේදනාවලින් පිරි තාවකාලික නතර වීමේ ස්ථානයක් ලෙස මට තේරුම් කොස් තිබිණ. මගේ මේ අදහස මගේ වයස අවුරුදු 17 වන විට ස්ථිර විය. අවුරුදු දෙකක්වත් නො වූ මගේ බිළිඳු නංගී, හොඳ සනීපයෙන් හා ක්‍රීඩාශීලී ගතියෙන් පිරී ඉතිරෙමින් සිටියා ය. හදිසියේ ම අසනීප වූ ඈ ඊට පසු දින මිය ගියා ය. මෙයින් මම මගේ මව අතිශයින් ශෝකී දුක්බර තත්ත්වයකට පත් වූ අන්දම බලා සිටියෙමි. ජීවිතයේ දුක්බර තත්ත්වය පෙන්වා දෙන චින්තන විප්ලවයක් මා තුළ ඇති විය. මා හේතු කොට ගෙන කාන්තාවකට මෙබඳු ශෝකයක් ඇති වෙන්නට ඉඩ නො දෙමි යි මම තරයේ ඉටා ගතිමි.
ලෝක ආස්වාදය නමැති දැලෙහි පැටලීමෙන් වැළැකීමට මම සිත සාදා ගතිමි. එතැන් පටන් මම අනුන්ගේ හිත සුව පිණිස මගේ ජීවිතය කැප කිරීමට උත්සාහ ගතිමි. මගේ මේ ස්ථිර අදිටන හරියට කෙසේ ක්‍රියාත්මක කළ යුතු දැ යි මට තේරුමක් තිබුණේ නැත. කෙසේ හෝ වේවා බ්ලැවැට්ස්කි මැතිනියගේ ලිපිවලින් එයට මාර්ගයක් උදා වන බව මට හැගිණ.

පාසලෙන් අස් වීමෙන් පසු කලක් නිවසෙහි නතර වී සිටි මම මගේ තාත්තාගේ ව්‍යාපාරික ස්ථානය ඉදිරිපිට වූ පිටකොටුවේ පුස්තකාලයෙන් පොත්පත් ලබා ගෙන ඉමහත් වේගයකින් ඒවා කියවන්නට පටන් ගතිමි. ආචාර ධර්මය, දර්ශනය, මනෝවිද්‍යාව, කලා ශිල්ප, විශේෂයෙන් චරිත කතා හා ඉතිහාසය ඇතුළු සෑම දෙයක් ම කියවීමි. මම ඉංග්‍රීසි කවීන් බොහෝ දෙනෙකුගේ කවි කියවීමි. එහෙත් සෑම විට ම මා ප්‍රිය කළේ පාසලේ දී මා අතිශයින් ආදරය කළ ෂෙලී නමැති කවියා ය. ෂෙලීගේ පරණ කවි පොතක් මගේ මාමාගේ නිවසේ තිබී මට හමු වූයෙන් මම මායා ලෝකවලට ගමන් ගත්තෙමි.

වයස 12 දී මගේ ප්‍රියතම කාව්‍යය වශයෙන් සැලකුවේ "කුයින් මැබ් (QUEEN MAB)" ය. මිනිසා තමා මත පටවා ගන්නා කෲරකම් හා අසාධාරණකම් ගැන එහි වූ දැඩි ආශාවන්ටත් මගේ ආසාව කිසි කලෙක තුරන් වූයේ නැත. මිනිසාට තමාගේ ම උත්සාහයෙන් ආධ්‍යාත්මික සුවයේ ඉහළ තලවලට යා හැකි යයි එහි දැක්වෙන සිද්ධාන්තය නිසා කල්පනාකාරී බෞද්ධ දරුවකුට කුයින් මැබ් විශේෂයෙන් ම ප්‍රිය විය. ෂෙලී ඇත්තවශයෙන් ම තාරුණ්‍යයේ කවියෙකි.

සීමාවක් නැති පෑ ගණන් පුස්තකාලයේ මා ගත කිරීම ගැන මගේ පියා කැමති වූයේ නැත. සාමාන්‍ය අර්ථයෙන් බලන කල මා කිසි ම දෙයක් කළේ නැත. මා කළේ කියවීමත්, කල්පනා කිරීමත්, පරම විඥානාර්ථත් අධ්‍ය්‍යනය කිරීම පමණි. පරම විඥානාර්ථත් බටහිර ලෝකයට බුද්ධාගම කියා දෙන්නක් ලෙස මම සැලකුවෙමි. එසේ වුව ද, ඔවුන්ගේ ක්‍රියාවන්ට ඉතා ම කැමැත්තෙන් සිටියද මට රක්ෂාවක් කිරීමට කාලය පැමිණ ඇතැ යි මගේ පියා සිතුවේය. ඔහු මට මෙසේ කී ය. "උඹ මොකක් හරි ප්‍රයෝජනවත් දෙයක් කරපන්. කොළඹ රජයේ දෙපාර්තමේන්තුවකට බැඳීයන්. බැඳීලා උඹට ප්‍රායෝගික වෙන්න පුළුවන් ද කියලා බලපන්."

මම අධ්‍යාපන දෙපාර්තුමේන්තුවට බැඳුණෙමි. මගේ ලිවීමේ දක්ෂතා අගය කළ එහි අධ්‍යක්ෂතුමා ඔහුගේ විශේෂ වාර්තා පිටපත් කිරීමේ කාර්යය මට බාර දුන්නේ ය. ඒ යතුරු ලියන භාවිතයට පැමිණ නො තිබුණු කාලයකි. දෙපාර්තුමේන්තුවේ බාල ම ලිපිකරු වූ මම සෑම විට ම කඩිසර ව කටයුතු කළෙමි. එක වැඩක් අවසාන කළ වහා ම මම තවත් පිටපතක් ලබා ගැනීමට වෙනත් මිනිසෙකු වෙත ගියෙමි. දෙපාර්තුමේන්තුවේ උසස් කිරීමේ අවස්ථාව පැමිණි විට මට උසස් වීමක් ලැබේ ද, නො ලැබේ ද යන්න මම නො දත්තෙමි. "කිනම් පලයක් ලැබුණත් කලබල වෙන්න දෙයක් නෑ." මම මට ම මෙසේ කියා ගතිමි. මා සමර්ථ වුවහොත් මගේ සහෝදර ජනතාවගේ හිතසුව පිණිස වැඩ කිරීමට මම තීරණය කර ගතිමි. උසස් වීමක් ලබා ගැනීමෙන් පසු දෙපාර්තුමේන්තුවෙන් අස්වීම, වඩාත් ලොකු පරිත්‍යාගයක් වනු ඇත. මම ඉතා හොඳින් සමර්ථ වීමි.

(අනගාරික ධර්මපාලතුමාගේ ස්වයං ලිඛිත චරිතාපදානය ඇසුරිනි.)



No comments:

Post a Comment