Thursday, November 17, 2016

අනගාරික ධර්මපාලතුමාගේ ස්වයං ලිඛිත චරිතාපදානය (සිව්වැනි කොටස) "මම පරම විඥානාර්ථ සමාගමට බැඳී එහි වැඩ කළෙමි."




1880 මැයි මාසයේ දී පරම විඥානාර්ථ පිරිස ලංකාවට පැමිණීමෙන් ඇති වූ ආගමික අවදිවීම 1880 පානදුරාවාදයෙන් ඇති වූ අවදිවීමට පමණක් දෙවැනි විය. ගාල්ලෙන් ලංකාවට ගොඩබඩ සෙන්පති ඕල්කට්තුමාත්, එච්.පී.බ්ලැවැට්ස්කි මැතිනියත් රාජකීය අන්දමින් පිළිගනු ලැබූහ. ගාල්ලේ සිට කොළඹට ඔවුන් කළ ජයග්‍රාහී චාරිකාවේ දී පරම විඥානාර්ථ පිරිස දුටු දර්ශන පිළිබඳ සුන්දර වර්ණනයක් පරමවිඥානාර්ථවාදියා ජූනි කලාපයෙහි පළ වී තිබිණ. ජූනි මාසයේ දී ඔවුන් කොළඹට පැමිණි පසු සෙන්පති ඕල්කට්තුමා විසින් පැවැත්වීමට නියමිත ව තිබුණු පළමුවන දේශනය ඇසීමට මම පාසලේ සිට පයින් ම ගියෙමි. සියල්ලන් ම ආපසු ගොස් මගේ මාමාත් පියාත් පමණක් ඉතිරි වූ විට මම ඔවුන් සමඟ එකතු වීමි. මගේ මාමා ඒ වන විට බ්ලැවැට්ස්කි මැතිනිය සමඟ හිතවත් ව සිටියේ ය. මගේ මාමාත්, පියාත් ඔවුන්ට ආයුබෝවන් කී වෙලාවේ දී ඔවුන් සමඟ මම ද සිටියෙමි. ඔවුන් මගේ අත් අල්ලා ගෙන සෙල වූ විට මට ඇති වූ ප්‍රීතිය නිම්හිම් නැති විය.

පරම විඥානාර්ථ සමාගමේ ආදි කර්තෘවරුන් වෙත මා ඇදී ගියේ 1880 ජූනි මාසයේ පටන් ය. ඒජන්ත කෙනෙකු වූ ජේ.ආර්. ද සිල්වා මහතා එහි සාමාජිකයෙකි. ඔහුගේ ලිපිනයට පරමවිඥානාර්ථවාදියා ආ සෑම විට ම මම නො වැරදී ම එය කියැවීමි. පාසලේ සිට ප්‍රවෘත්තිපත්‍ර ඒජන්ත තැනගේ නිවෙසට තිබුණ සැතපුමක් පමණ දුර ප්‍රමාණය, පිටපතක් ණයට ගැනීම සඳහා මම පයින් ම ගියෙමි.

සෙන්පති කර්නල් හෙන්රි ස්ටීල් ඔල්කට්තුමා
1884 ජනවාරි මාසයේ දී කොළඹ පරම විඥානාර්ථවාදීන්ගේ ඉල්ලීමක් අනුව සෙන්පති ඕල්කට්තුමා යළි කොළඹට පැමිණියේ ය. එතුමා පැමිණියේ බෞද්ධයන් විසින් සංවිධාන කරන ලද සාමකාමී පෙරහරකට කිසිම කුපිත කිරීමක් නොමැති ව කතෝලිකයන් විසින් කරන ලද මිනීමරු පහරදීමට විරුද්ධ ව නීති මාර්ගයෙන් ක්‍රියා කිරීමට ය. පැමිණි වහා ම එතුමා බැලීමට ගිය මම පරම විඥානාර්ථ සමාගමට බැඳීමට කැමති බව කීවෙමි. මගේ වයස අඩු වුවත් මා ඇතුළත් කරගන්නා බව එතුමා පැවැසීය. පසු ව මැලිබන් වීදියේ පිහිටි පරම විඥානාර්ථ සමාගමේ තාවකාලික මූලස්ථානයට එතුමා මා කැඳවාගෙන ගියේය. එකල සමාගමේ සභාපති ව සිටියේ මගේ මුත්තා ය. ඔහු මා වෙනුවෙන් සාමාජික මුදල වූ රු.10 ගෙව්වේ ය. මෙසේ පරම විඥානාර්ථ සමාගමට බැඳී සය අවුරුද්දක් ම එහි සේවය කළෙමි.

හෙලේනා පෙට්ට්‍රොවිනා බ්ලැවැට්ස්කි මැතිනිය
1884 දෙසැම්බර් මාසයේ දී මදුරාසියට යන අතර සෙන්පති ඕල්කොට්තුමා සහ බ්ලැවැට්ස්කි මැතිනිය කොළඹට පැමිණියහ. මම මගේ පියා වෙතට ගොස් ඔවුන් සමඟ මදුරාසියට ගොස් ඔවුන් සමඟ වැඩ කිරීමට මට වුවමනා බව කීවෙමි. මුලින් ඔහු ඊට කැමැති විය. අප පිරිස අද්යාරයට කැඳවා ගෙන යෑමට මදුරාසියේ සිට ඕල්කට්තුමා ආචාර්ය ජුක්ස් හාට්මන් සමඟ පැමිණියේ ය. මේ වන විට පිටත්වීමට මම සියල්ල සූදානම් කරගෙන සිටියෙමි. එදින උදේ පාන්දර ම මට කතා කළ මගේ පියා තමා නරක හීනයක් දුටු හෙයින් ගමන නො යන ලෙස මට කී ය. ගමන වැළැක්වීම සුදුසු නො වන බව ද, සෙන්පති ඕල්කට්තුමා සමඟ යන නිසා මා ගැන බිය වන්නට දෙයක් නැති බව ද මම පියාට කීවෙමි. එහෙත් මගේ පිළිතුරෙන් සෑහීමකට පත් නො වූ ඔහු මා මගේ මුත්තා ළඟට කැඳවා ගෙන ගියේය. ඔහු ද මා නො යා යුතු බව කීයේය. පසු ව දෙදෙනා මා ද කැටුව සුමංගල නාහිමියන් වෙතට ගියෝය. උන්වහන්සේ ද මට නො යන ලෙස උපදෙස් දුන්හ. මෙහි දී මගේ කණගාටුව එක එල්ලේ ම ප්‍රකාශ කළ මම මගේ කර්මයට අනුන් මැදිහත් විය යුත්තේ මන්දැයි ඇසුවෙමි. එවිට සුමංගල නාහිමියෝ සිය දෙවැනියා වූ ගෞරවාර්හ අමරමෝලි ස්ථවිරයන් අමතා පිරිස සමඟ ගොස් සෙන්පති ඕල්කට්තුමා හමු වී කාරණය බේරුමක් කර ගන්නා ලෙස කීහ. පසු ව අපි සියල්ලන් ම එහි ගියෙමු. එහි දී සෙන්පති ඕල්කට්තුමා පියා විරුද්ධ නිසා මට යෑමට කෙසේවත් ඉඩ නො දෙන බව කෙළින් ම කීය. එවිට එතැනට දුවගෙන ආ බ්ලැවැට්ස්කි මැතිනිය මට යාමට ඉඩ නො දුනහොත් මා මිය යනු ඇතැ යි කීවා ය. මා අද්යාරයට යෑම ගැන බිය නො විය යුතු බව ද, ආරක්ෂා සහිත ව මගේ ආපසු ඒම ගැන ඇය සොයා බලන බව ද කීවා ය. යම් විදියකින් මට යන්නට ඉඩ නො දුන්න හොත් මා ඒකාන්තයෙන් ම මියයනු ඇතැයි ඈ පැවසුවාය. මගේ පියා එවිට බිය විය.

මෙපරිද්දෙන් ඇය පවුලේ අයගේ සිත් වෙනස්කර මගේ ගමනට අවසර ලබා දුන්නී ය. මගේ ගමනට ආශීර්වාද කළ මගේ මව මට මෙසේ කීවා ය. "යන්න; ගිහින් මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් වැඩ කරන්න." මගේ පියා සෛ් කී ය. "එහෙම නම් යන්න. ගිහින් බෝධිසත්ත්ව කෙනෙක් වෙන්න උත්සාහ කරන්න." මගේ වැඩට ආධාර වශයෙන් ඔහු මට මුදල් ද දුන්නේ ය.

බ්ලැවැට්ස්කි මැතිනියට ගුප්ත විද්‍යාවන් පිළිබඳ ගැඹුරු දැනුමක් තිබිණ. එමෙන් ම ඈ හොඳ බෞද්ධ කාන්තාවක් ද වූවාය. ඇය කළා වූ බොහෝ විශිෂ්ට දේවල් පිළිබඳ ව බොහෝ දෙනෙකු මට තරුණ කාලයේ දී පවසා තිබුණි. මා කායික ව හා මානසික ව පවිත්‍ර නිසා හිමාලයේ යෝගාවචරයන් හා එක්වන්නට මට පුළුවන්කමක් ඇතැයි වරක් ඈ මට කීවා ය.

ඒ කාලයේ පැවැති පරම විඥානාර්ථ වාතාවරණය ගෞතම බුදුන් වහන්සේට හිමාලයේ ආචාර්යවරුන් තුළ ඇත්තා වූ ශ්‍රද්ධාව පෙන්නුම් කරන සුලු විය. "පරමවිඥානාර්ථවාදියා" සඟරාවේ ලිපිවලින් බුදුන් වහන්සේට හිමාලයේ ආචාර්යවරුන් තුළ පවත්නා ශ්‍රද්ධා භක්තිය පිළිබඳ සුගන්ධයෙන් පිරී පැවැතුණි. මම කොළඹට ආපසු ආවෙමි. මගේ පොරොන්දු හොඳින් ඉටුකර තිබුණේ ය.

සාංගමික රැස්වීමෙන් නො බෝ දිනකට පසු ව, 1885 බ්ලැවැට්ස්කි මැතිනිය අද්යාරයේ සිට යුරෝපයට යෑම සඳහා නැව් නැංගා ය. ඒ නැව යුරෝපයට යන අතරමඟ දී කොළඹට පැමිණියෙන් මම ඇය බැලීමට ගියෙමි. ඒ අවුරුද්දේ ම නොවැම්බර් මාසයේ දී දෙමවුපියන්ගෙන් ඉවත් වී, කොළඹ පිහිටි පරම විඥානාර්ථ මූලස්ථානයෙහි නතර වීමට මට ඔවුන්ගේ අවසරය ලැබිණ. එවිට මට ආශීර්වාද කළ මගේ මව බාල සොහොයුරන් දෙදෙනා නො වේ නම් ඇය ද මා සමඟ එකතු වන බව පැවසුවාය.

පවුලේ වැඩිමලා වූ මා ඔහුගෙන් වෙන් වුවහොත්, කුඩා දරුවන් බලා ගන්නේ කවරෙක් දැ යි මගේ පියා ප්‍රශ්න කළේ ය. එවිට මම එකිනෙකා රැක බලා ගැනීම එකිනෙකාගේ කර්මය අනුව සිදුවන්නක් බව කීවෙමි. අනතුරු ව මගේ මුළු කාලය ම ශාසනය වෙනුවෙන් කැප කිරීමට මා සිතා ගෙන සිටින හෙයින් බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරනු සඳහා නිවෙසින් ඉවත් වීමට මට අවසර ඉල්ලා මම පියාට ලියුමක් ලීවෙමි.

"ආදර ගෞරව පූර්වංගම කොට කරුණාවන්ත පියාණන්ට හා මෑණියන්ට ලියමි.

වාදීභසිංහ පූජ්‍ය මිගෙට්ටුවත්තේ ගුණානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ
පරම විඥානාර්ථ සමාගමට බැඳුණේ බුද්ධාගම දියුණුව පිණිස ගොඩනගන ලද සමාගමක් නිසයි. මේ අප රටේ මේ සමාගම ආරම්භ කළේ සර්වඥ ප්‍රතිපත්ති පූරණය කරන ලද ධ්‍යානලාභී ඍද්ධිමතුන් විසින් බව අවංකව මම කියමි. බාල කාලයේ පටන් ආගම කෙරෙහි ශ්‍රද්ධාවක් තිබුණ නිසා කර්මය හේතු කොට ගෙන මේ උත්තම සමාගමට බැඳෙන්නට කාරණා විය. බුද්ධ ප්‍රඥප්ති පිට ගොඩනගනා තිබෙන මේ සමාගමේ ගුරුකම් පිට දෑ අවුරුද්දක් පිරිසිදු ජීවිතයක් ගත කළෙමි. මවිසින් පඤ්චශීලය කිසි කලකවත් නො කඩවා ආරක්ෂා කරනු ලැබූ බැවින් මේ දෑ අවුරුද්ද මහෝපකාරී වේ. ශුද්ධ ජීවිතයක් පසු කරමින් සිටින පුද්ගලයෙකුගේ හිතට උපදින ශාන්ත වූ සැපය අන්‍ය කෙනෙකුට හඟවන්නට නො හැක්කේ ම ය. අනිත් අතට පිරිසිදු ජීවිතයක් ගත කරන පුද්ගලයෙකුට ලෞකික සැපයේ තිබෙන අනිත්‍ය ගතිය හොඳින් වැටහේ. කුසල් කිරීම සහ සිත පිරිසිදු කර ගැනීම ලෝකෝත්තර වශයෙන් ප්‍රයෝජන වන නිසා ඒවා පුරුදු කරමින් බුද්ධ ප්‍රඥප්තිවලට අනුව යාම පරලොව ගැළවීමට හේතු සම්පන්න වන බව සර්වඥයන් වහන්සේ වදාරා තිබේ. දෑ අවුරුද්දක් මුළුල්ලේ බුද්ධ ප්‍රඥප්ති කඩ නො කොට ඒවාට අනුකූල ව වාසය කෙළෙමි. මෙසේ කිරීමෙන් අවශේෂ මනුෂ්‍යයන් ලෝභ කරන ලෞකික සැපයෙහි තිබෙන අස්ථිරභාවය මට හොඳින් වැටහී තිබේ. ඉන් නිසා ජීවිතාන්තය තෙක් බුද්ධ ප්‍රඥප්තිවලට කීකරු ව ලෝකාභිවෘද්ධිය සඳහා වැඩ කිරීමට මා හිතට ගෙන තිබේ. ඉන් නිසා ලෝකාභිවෘද්ධියට වැඩ කිරීමට ඉඩ දෙනු ලැබේවා! සය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කොට සර්වඥයන් වහන්සේ විසින් ලබා ගන්නා ලද උත්තම ඥානයෙන් පෙන්නා දී තිබෙන උතුම් මාර්ගයේ යෑම පිණිස බුද්ධ ප්‍රඥප්ති පූරණය කිරීමට ගෘහය විස නිසා එයින් තුරන් ව විවේක ස්ථානයක් ඕනෑ සෙයින් ගෙදර හැර සමාගම් ශාලාවට ආවෙමි. ගෘහපතියෙකුට ගේ දොර ප්‍රවේසම් කිරීමෙන් ද, දරුවන් පෝෂ්‍ය කිරීමෙන් ද ගත කරන කාලය දුකින් පසු කරන්නට ඕනෑ බව මට වැටහී තිබේ. මේ නිසා බ්‍රහ්මචාරී ව වාසය කරන්නට මම සිතට ගතිමි. මහණ භූමියට ඇතුළත් වන්ට කැමති නමුත් මහණ නො වී බ්‍රහ්මචාරී ව සිටීම වඩා ප්‍රයෝජන නිසා එසේ ජීවිතාන්තය දක්වා සිටිමි. ආත්මාර්ථය සලකා ක්‍රියා කරන්නෙකුට මහණ වීම වඩා සුදුසු යි. නමුත් පරාර්ථකාමී පුද්ගලයන්ට බ්‍රහ්මචාරී ව විසීම ලෝකාර්ථදායක වැඩවලට ප්‍රයෝජනවත් වේ. සුමේධ තාපසයාණන් අතට ලැබුණු නිර්වාණ සැපය අතහැරියේ ලෝක සත්ත්වයාගේ යහපතට වැඩ කිරීම උගහට නිසයි. මේ නිසා ගෘහපතියෙක් ව දූ දරුවන් ව පෝෂ්‍ය කරමින් දුකින් කාලය ගත නො කර යටකී අන්දමට බ්‍රහ්මචාරී ව පරම විඥානාර්ථ සමාගමේ දියුණුව සඳහා වැඩ කිරීමට ඉඩ දෙන මෙන් දොහොත් මුදුන් දී ඉල්ලමි. ගෘහපතියෙකුට ගිහි භූමියෙහි කටයුතු කිරීමට මම සුදුස්සෙක් නො වෙමි. ශරීරයෙන් දුර්වල වූ මම ගෘහබන්ධනයට ඇතුළුවම් නම් එය මවිසින් කරනු ලබන දරුණු අපරාධයක් වේ. දුර්වල මනුෂ්‍යයින්ට ලැබෙන දරුඵල කිසි කලෙකවත් හරියන්නේ නැත. ඥාන ශක්තියෙන් ද රූප ශක්තියෙන් ද ඔව්හු දුප්පත් වෙති. මනුෂ්‍යයාගේ ලෝකෝත්තර කෘත්‍යයන් කර ගැනීමට බාධා වූ කාම තෘෂ්ණාව නැති කිරීමට මා දැන් ගත කරන ජීවිතය පළිහක් මෙන් වේ. බුද්ධාගම හොඳ හැටි දන්නා මගේ මව්පිය දෙදෙනා ම එය දන්නා බැවින් ඒ ගැන වැඩිදුර නො කියමි. ලෞකික සැපයේ අනිත්‍ය ස්වභාවය දැක ඒකේ තුච්ඡගතිය දැන ගත්තා වූ මම කවර අන්දමකින්වත් එය සැපතක් හැටියට භාර ගන්නේ ද? නුපුළුවන් මැ යි. ලෝකෝත්තර සැප ප්‍රාර්ථනා කරන මට ඊට සුදුසු කෘත්‍යයන් කර ගැනීමට ඉඩ ලැබේවා. එක පුද්ගලයෙකුගේ නො ව, සියලු ලෝක සත්ත්වයන්ගේ සැප ප්‍රාර්ථනා කරන මට ඔවුන්ගේ දියුණුවට වැඩ කිරීමට ඉඩ දෙනු මැනැවි. ලෞකික සැපයක් ඕනෑ නො කරන නිසාත්, බලාපොරොත්තු නො වන නිසාත්, මට යමක් ඕනෑ නො කරයි. ඉතා ම ලාභයට මගේ ජීවිකාව කර ගැන්මට මට දැන් පුළුවනි. මවිසින් දොහොත් මුදුන් දී කරනු ලබන ඉල්ලීමට බාධා නො පමුණුවා චිත්ත ප්‍රීතියෙන් ඉඩ දෙන ලෙස ඉල්ලමි. එය මෙයයි. සම්පූර්ණයෙන් මගේ කාලය බෞද්ධාගම දියුණුව පිණිස වැඩ කරන්න යි. මගේ ජීවිකාව කර ගැනීමට මට මසකට රුපියල් පහක් පමණක් ලැබෙන්ටත් ඉල්ලමි. මේ ඉල්ලීම ඉෂ්ට කළොත් අප සියල්ලන්ගේ නිවන් මාර්ග ලේසි වේ. ඉන් නිසා බාධා නො පමුණුවා මේ ඉල්ලීම ඉටු කරනු ලැබේවා. සාරසංඛ්‍යාකල්ප ලක්ෂයක් අප බෝධිසත්ත්වයන් වහන්සේ ලෝක සත්ත්වයා නිසා දුක් වින්ඳා නම්, පුළුවන් පමණක් ලෝක සත්ත්වයාගේ දියුණුවට වැඩ කරන්නට අපට නො හැකි ද?

මේ වගට, යටහත් කීකරු
ඩේවිඩ්."

(ඩේවිඩ් තරුණයා මේ ලිපිය ලියන ලද්දේ 1888 ජනවාරි 24 වැනි දා ය.)

පූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල මහාස්වාමීන්ද්‍රයන් වහන්සේ
මම මගේ පවුලෙන් ඉවත් වීමි. එ තැන් පටන් මම මගේ සියලු ම ආත්මාර්ථකාමී ඕනෑ එපාකම් ඉවලමින්, ඉමහත් භක්තියකින් මනුෂ්‍ය වර්ගයාගේ හිත සුව පිණිස වැඩ කරමින් සිටිමි. පරම විඥානාර්ථ සමාගමේ ද, බුද්ධාගමේ ද අභිවෘද්ධිය සඳහා දිවා රාත්‍රී දෙකේහි මම වැඩ කළෙමි. 1886 පෙබරවාරි මාසයේ දී සෙන්පති ඕල්කට්තුමාත්, සී.ඩබ්.ලෙඩ්බීටර් මහතාත් බෞද්ධ අධ්‍යාපනික අරමුදලට ආධාර එකතු කරනු සඳහා කොළඹට පැමිණියහ. එකල මම අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ කනිෂ්ඨ ලිපිකරුවකු මෙන් වැඩ කරමින් සිටියෙමි. මගේ දිවා ආහාරය නිවසේ සිට දිනපතා ම මූලස්ථානයට එවනු ලැබීය. සෙන්පති ඕල්කට් තුමාට සිය චාරිකාවේ දී කැටුව යාමට කෙනෙකු සිටියේ නැත. තම චාරිකාවේ දී තමා සමඟ යෑමට කිසි ම බෞද්ධයෙකු කැමති නො වන්නේ නම් තම කාලය නාස්ති කිරීමෙන් පලක් නැතැයි එතුමා කීය. තම පවුලෙන් ඉවත් වී ඕල්කට්තුමා සමඟ යෑමට කිසි ම කෙනෙකු සමාගමේ සිටියේ නැත. මෙය නම් මගේ රක්ෂාවෙන් ඉල්ලා අස්වීමෙන් තවත් පරිත්‍යාගයක් කිරීමට අවස්ථාවකැ යි මම කල්පනා කළෙමි. එතුමා සමඟ යෑමට මම සූදානම් යැයි මම ඕල්කට්තුමාට කීවෙමි. එකෙණෙහි ම මම තුන් මසක නිවාඩුවක් ඉල්ලා සිටීමට අධ්‍යක්ෂට ලියුමක් ලීවෙමි. කිසි ම ප්‍රමාදයක් නොමැති ව නිවාඩුව ලැබිණි. ඊට කලින් ලිපිකරු විභාගයට පෙනී සිටිත් දී ඒ විභාගයෙන් සමත් වුවහොත් රජයට නො බැඳෙන බවට ද, මනුෂ්‍ය වර්ගයාගේ හිතසුව පිණිස මුළු හදින් ම ක්‍රියා කරන බවට ද මම දිවුරා පොරොන්තු වී සිටියෙමි. එකල මම කේ.එච්.මහතාගේ දැඩි අනුගාමිකයෙකු ව සිටියෙමි. ඔහුගේ නාමයෙන් සේවය කිරීමට මම අතිශයින් ප්‍රිය කළෙමි. සෙන්පති ඕල්කට්තුමාත්, ලෙඩ්බීටර් මහතාත්, මමත් ඔහුගේ රථයෙන් චාරිකාවට පිටත් වීමු. ඒ රථයෙහි තට්ටු දෙකක් විය. ඉහළ තට්ටුවෙහි ඒ දෙදෙනා නිදාගත් අතර, පහළ තට්ටුවෙහි මම නිදා ගත්තෙමි. මාස දෙකක කාලයක් තිස්සේ අපි අහිගුණ්ඨික ජීවිත ගත කළෙමු. ඔහු ලෙඩ්බීටර් පිළිබඳ ව පී.බී ට ලියන ලද ලියුම, එස්.පී.සිනට් ට ලියන ලද බ්ලැවැට්ස්කි ලියුම්වල පළ විය. සෙන්පති ඕල්කට්තුමා ලංකාවෙන් බැහැර වී මදුරාසියට ගිය අතර, ලෙඩ්බීටර් සහ මම දිගට ම චාරිකාවේ යෙදුණෙමු. රට අභ්‍යන්තරයේ දී මට යටත්විජිත ලේකම්ගෙන් ලියුමක් ලැබුණේ ය. මා විභාගයෙන් සමත් වී ඇති බව ද, රජයේ තනතුරකට මා පත්කර ඇති බව ද ඒ ලියුමේ සඳහන් කර තිබිණ. එකෙණෙහි ම එයට පිළිතුරු ලියූ මම, මා මගේ ආගම වෙනුවෙන් වැඩ කරන හෙයින් රජයේ සේවයෙන් ඉල්ලා අස් වන බව දැනුම් දුන්නෙමි. අප කොළඹට පෙරළා පැමිණි පසු, මගේ පියා මට කථා කරමින් රජයේ තනතුර බාර ගන්නා ලෙස ද, ඉන් ලැබෙන මුළු වේතනය ම පරම විඥානාර්ථ සමාගමට දෙන ලෙස ද කී ය. ඔහු මා යටත් විජිත ලේකම් වෙත ගෙන ගියේය. ලේකම් ඉල්ලා අස්විමේ ලිපිය ආපසු ගන්නා ලෙස කී ය. මම එය ප්‍රතික්ෂේප කළෙමි. ඉක්බිති ව ප්‍රමෝදයෙන් මම එතැනින් පිට වී ආවෙමි.

මේරි එළිසබෙත් මිකහලා රොබින්සන් ෆෝස්ටර් මැතිනිය
ඒ කාලයේ දී හිමාලයානු ආචාර්යවරයෝ සත්‍යයක් ම වූහ. එච්.පී.බී. එකල යුරෝපයේ වැඩ කරමින් සිටියේ ය. අද්යාරයේ සිටි ටී.සුඛා රෝ, කූපර්-ඕක්ලි ප්‍රමුඛ පිරිස විසින් එච්.පී.බී. ට ත් වඩා ගුප්ත විද්‍යාවන්හි දක්ෂයෙකැ යි පිළිගනු ලැබීය. අද්යාරයේ දී බුදුන් වහන්සේට ලැබී තිබුණ තැන කෙමෙන් ශංකරාචාර්යටත්, ඔහුගේ අද්වෛත වාදයටත් ලැබෙමින් පැවතිණ. අද්යාරයේ ගුප්ත විද්‍යා කාමරය ගළවා දමන ලදි. එහි ගුරුවරු එතැනින් ඉවත් වී ගොස් සිටියහ. එච්.පී.බී. ලන්ඩනයේ තම ගුප්ත විද්‍යාත්මක පරම විඥානාර්ථ පාසල අරඹා තිබිණ. සුබාරො මිය ගොස් සිටියේ ය. අද්යාරය ව්‍යාපාරික ස්ථානයක් බවට පත් වී තිබිණ. එහි පුස්තකාලයක් ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර තිබුණේ ය. මේ අතර පරම විඥානාර්ථවාදී සමාගම සාර්ථක කර ගනු සඳහා මම බලවත් වෙහෙසකින් ලංකාවේ වැඩ කර ගෙන ගියෙමි. මෙහි දී මට සී.පී.ගුණවර්ධන, විලියම්ස් ආබ්‍රෑ, දොන් කරෝලිස් හා වෙනත් ස්වල්ප දෙනෙකුගේ නො මඳ සහායත් ලැබිණ. මේ ව්‍යාපාරයට මුදලින් ආධාර දුන් මගේ මුත්තා එහි සභාපතිවරයා වී ය. කෙටි කැතිකීස්මයක් සූදානම් කරන ලෙස ඕල්කට්තුමා ලෙඩ්බීටර්ගෙන් ඉල්ලා සිටියේ ය. ලොකු එකෙන් ඔහු කෙටි එකක් සම්පාදනය කළේ ය. ඉක්බිති ව සෙන්පති ඕල්කට්තුමා එය සිංහලයට පරිවර්තනය කරන ලෙස මට දැන්වීය. මම සුමංගල නාහිමියන්ගේ ද ආධාර ඇති ව එසේ කලෙමි. ලෙඩ්බීටර් විසින් සම්පාදනය කරන ලද එහි දෙ වැනි කොටස, බෞද්ධ ඉංග්‍රීසි පාසගේ ගුරුවරුන් වූ ජේම්ස් පෙරේරා සහ විමලසූරිය විසින් පරිවර්තනය කරන ලදි. මේ සංස්කරණ දෙක ම ණයකර නිකුත් කිරීමෙන් උපයා ගත් මුදලින් සෙන්පති තුමා පිහිට වූ බෞද්ධ මුද්‍රණාලය මඟින් මුද්‍රණය කරන ලද්දේය. මගේ මුත්තාට එහි කොටස් සියයට 50 ක් තිබුණු අතර, අනෙක් අයට ඊට වඩා අඩුවෙන් තිබිණ. මම ඒ එක් ඒ අය වෙත ගොස් තම තමන්ගේ කොටස් සමාගමට පරිත්‍යාග කරන ලෙස ඉල්ලා සිටියෙමි. මුලින් ම මගේ මුත්තා ළඟට ගිය මම, ඔහුගේ කොටස් සමාගමට පරිත්‍යාග කරවා ගතිමි. ඔහුගේ කොටස් සමාගමට පරිත්‍යාග කරවා ගැනීමෙන් පසු ඉතිරි වැඩ කොටස ලෙහෙසි වී ය. එක් තැනැත්තෙකු හැර අන් සියල්ලෝ ම තම තමන්ගේ කොටස් සමාගමට පරිත්‍යාග කළහ. මෙයින් මුද්‍රණාලය බෞද්ධ පරම විඥානාර්ථ සමාගමේ දේපොළක් බවට පත් විය. මම බොහෝ මහන්සියෙන් වැඩ කොටස, "සඳරැස" ණය බරින් මුදවා ගෙන, ස්ථිර අඩිතාලමක පිහිටුවා ගතිමි. මම සෙන්පතිතුමාගේ රියෙන් බටහිර පළාතේ ගමින් ගමට යමින් අධ්‍යාපන ව්‍යාපාරය ජනප්‍රිය කරවීම සඳහා දේශනා පැවැත්වීමි. මේ වන විට ලෙඩ්බීටර් මහතා සිය ඉරු දින පාසල් කොළඹ අරඹා තිබිණ. පසු ව ශිෂ්‍යයන් ස්වල්ප දෙනෙකුට ඉගැන්වීම සඳහා ඉංග්‍රීසි පාසලක් ද ආරම්භ කළේ ය. ඒ ශිෂ්‍යයන්ගෙන් කෙනෙකි, දැන් ප්‍රකට ව සිටින ජිනරාජදාස. ලෙඩ්බීටර් මහතා ජිනරාජදාසට මහත් සේ ඇලුම් කළේ ය. තමා සමඟ ඔහු ලන්ඩනයට යතොත් මැනැවැයි ඔහු කල්පනා කළේ ය. එහෙත් ඔහුගේ පියා එයට ඉඩ දුන්නේ නැත. එහෙත් කල් යෑමේ දී තරුණ ජිනරාජදාස රැගෙන යෑමට ඔහු සමත් විය. නාහිමියන් සමඟ සාකච්ඡා කළ ලෙඩ්බීටර්, සත් අවුරුද්දකට පසු ව තරුණයා කැටුව ආපසු අවුත් භික්ෂු ශාසනයට ඇතුළු වන බව කී ය. එහෙත් සත් අවුරුද්දක් ලන්ඩනයේ ගත කළ ජිනරාජදාසට ලංකාව අමතක වූයේය. ඒ කාලය අවසානයේ දී ලංකාවට ආපසු ඒම ඔහු ප්‍රතික්ෂේප කළේය.

1888 දී චිතගොංහි බෞද්ධයෝ "බෞද්ධ බන්ධු" යන නමින් ඉංග්‍රීසි මාසිකයක් ආරම්භ කළහ. ලංකාවේ බෞද්ධයන්ට ද ඉංග්‍රීසි සතිපතා ප්‍රකාශනයක් ආරම්භ කිරීමට කාලය පැමිණ ඇතැ යි මම කල්පනා කළෙමි. මම මගේ මිතුරන්ගෙන් රුපියල් දහය බැගින් එවන ලෙස ඉල්ලා සිටියෙමි. රුපියල් 300 ක් එකතු වූ විට මම මදුරාසියෙන් ඉංග්‍රීසි අකුරු ගෙන්වා ගතිමි. අනතුරු ව "ද බුඩිස්ට්" සඟරාව 1888 දෙසැම්බර් මාසයේ දී ලෙඩ්බීටර් මහතාගේ සංස්කාරත්වයෙන් ආරම්භ කරන ලදි. එය "සඳරැස" නමැති සිංහල පුවත්පතෙහි අතිරේකයක් වශයෙන් නිකුත් කරන ලද්දේ ය. ලංකාවේ දී මම සෙන්පති ඕල්කට්තුමා, ලෙඩ්බීටර් මහතා, සී.එෆ්.පවෙල් සහ ආචාර්ය ජේ.බෝල්ස් ඩැලී සමඟ වැඩ කළෙමි.

1890 දෙසැම්බර් මාසයේ දී කොසොන් ගුණරත්න නමැති ජපන් භික්ෂුව සමඟ මම අද්යාරයේ සම්මේලනයට සහභාගි වීම සඳහා ලංකාවෙන් පිටත් වී ගියෙමි. සම්මේලනයෙන් පසු අපි දෙදෙනා ම ඉසිපතන, බරණැස හා බුද්ධගයා යන ස්ථානවල වන්දනා ගමනක් ගියෙමු. 1891 ජනවාරි මාසයේ දී අපි එහි ළඟා වුණෙමු. මෙයින් මාගේ ජීවිත කාර්යයේ පළමු කොටස අවසන් වෙයි.

(අනගාරික ධර්මපාලතුමාගේ ස්වයං ලිඛිත චරිතාපදානය ඇසුරිනි.)


No comments:

Post a Comment