Thursday, November 17, 2016

අනගාරික ධර්මපාලතුමාගේ ස්වයං ලිඛිත චරිතාපදානය (දෙවැනි කොටස) "මගේ දෙමව්පියන්ට මිෂනාරී පාසල් තෝරා ගැනීම හැර කළ හැකි අන් දෙයක් නො වී ය."




මගේ වයස අවුරුදු දහය වන තුරු ම මම පිටකොටුවේ සිටියෙමි. ඊට පසු ව මම මගේ පියාට අයිති ව තිබුණු සුන්දර ගෙවත්තක් සහිත නිවෙසක් තිබුණු කොටහේනට පදිංචියට ගියෙමි. මගේ අටවැනි වියේ සිට දස වැනි විය දක්වා කාලය තුළ දී මම පෞද්ගලික සිංහල පාසලකට යවනු ලැබීමි. එහි දී ලංකාවේ පන්සල්වල දී මෙන් සිංහල පාඨ ග්‍රන්ථවලින් උගන්වන ලදි. මගේ සිංහල ගුරුවරයා නීති රීති තදින් ම පිළිපදින්නෙක් විය. හැම දෙයක් ම පිරිසිදු ව තබා ගැනීමේ ද, කායික පවිත්‍රතාව පවත්වා ගැනීම සඳහා ජලය බෙහෙවින් පාවිච්චි කිරීමේ අවශ්‍යතාවය ද මගේ ළපටි සිතෙහි තැන්පත් කිරීමට ඔහු බෙහෙවින් ආධාර වූයේ ය.
ලන්සි ගැහැනු ළමයින් සඳහා පිටකොටුවේ තිබුණු ඉංග්‍රීසි පාසලකට මගේ ළදරු කාලයේ දී මම යවනු ලැබීමි. ඉන් පසු ව සැන් මේරීස් නමින් හඳුන්වනු ලැබූ කතෝලික පාසලකට යවනු ලැබීය. ශාන්ත මේරිස් පාසලේ මගේ ගුරුවරයා වූයේ රෝමානු කතෝලික මරක්කල ජාතිකයෙකි.

කතෝලික බිෂොප් වරයෙකු ව සිටි හිලේරියන් සිලානි මේ පාසලට පැමිණි අවස්ථාව මට මතක ය. එදින තම ඇඟිල්ලේ පැළඳ ගෙන සිටි මුද්ද සිඹීමට ඔහු මට කීයේ ය. ඔහු ඉදිරියේ දණ ගසාගෙන එසේ කිරීමට මට සිදු විය. ඔහු එසේ කරන ලෙස මට පැවසුවේ මන්දැයි මම නො දනිමි. මා අණට කීකරු ව මගේ දණ නැමූ විට බිෂොප් ඔහුගේ අත සිඹීමට මා වෙතට දිගු කළේ ය. එය ප්‍රතික්ෂේප කිරීමට හෝ එසේ සිඹින්නේ කුමක් නිසා දැ යි ප්‍රශ්න කිරීමට හෝ නො හැකි තරමට මම ළපැටියෙකු ව සිටියෙමි.

ඉන් නො බෝ දිනකින් පසු ව ශාන්ත මේරිගේ පාසලෙන් අස් වූ මම සිංහල පාසලකට ගියෙමි. එහි දී පළමු වැනි පාඩම මට උගන්වන ලද්දේ පැරැණි සිංහල චාරිත්‍ර අනුව, එනම් ගුරුතුමාට බුලත් අතක් පිළිගන්වා වැඳීමෙන් පසු ව ය. ඒ අවුරුදු දෙක තුළ දී මා උගත් සෑම දෙයක් ම ඉතා වටී.

පළමුවන වරුවේ උදේ 8 ට පාසලට ගිය මම දිවා ආහාරය සඳහා දහවල් 11 ට පෙර ගෙදර පැමිණියෙමි. දෙවැනි වරුවේ දී ප.ව. 1 ට පාසලට ගිය මම ප.ව. 5 වන තුරු පාසලේ නතර වී සිටියෙමි. එහි දී සිංහල හැරෙන්නට අන් කිසි ම විෂයයක් නූගැන්විණි. එම පාසලෙන් මා උගත් දේ පසු කාලයේ දී මට ඉතා ප්‍රයෝජනවත් විය.

සිංහල පාසලෙන් ඉවත් වීමෙන් පසු ශාන්ත බෙනඩික් විද්‍යාලයේ පහළ ම පන්තියට ඇතුළු වී ඉගෙනීම කර ගෙන ගියෙමි. එහි සිංහල ගුරුවරයා කතෝලිකයෙක් විය. මාස කීපයකට පසු ව උසස් පන්තියකට මම දමනු ලැබීමි. එහි දී මගේ ගුරුවරයා වූයේ ක්‍රිස්තියානි සොහොයුරුනමකි. එහි දී සෑම අඩ පැයක දී ම කන්‍යා මේරි කුටියට ප්‍රශංසා කරමින් පන්තියම කෙටි යාච්ඤාවක් කළ යුතු විය. මා දිනපතා බුදුන් වැන්ද නමුත් මම කතෝලික පිළිවෙත් ක්‍රමයට ද පුරුදු වූයෙමි. මා බෞද්ධයෙකු වූ හෙයින් බ්‍රහස්පතින්දා දිනවල දී සොහොයුරුනමක විසින් මෙහෙයවන ලද විශේෂ පන්තියකට සහභාගි වීමට මට සිදුවිය. ඒ පාසලේ සිටි අවුරුදු දෙකක කාලය තුළ දී මම සොහොයුරුනමවල් කීප දෙනෙකු පුද්ගලික ව දැන හැඳින ගතිමි. මගේ පියාගේ උයනෙහි සුවඳවත් මලින් පිරුණු ගස් බොහෝ තිබිණ. මම උත්සව දිනවල දී ඒ සුවඳවත් මල් පාසලට ගෙන යාමට පුරුදු ව සිටියෙමි. දවසක් පියතුමෙක් මා කතෝලිකයෙකු නො වූයේ මන්දැයි මගෙන් ඇසී ය. පුදුමයට කරුණක් වූයේ කතෝලික ආගම කොළඹ තදින් පැතිර තිබිය දී මා කතෝලිකයෙකු නො වීම ය.

වයස අවුරුදු 11 වූ මම එංගලන්ත සභාවෙන් පාලනය වූ පාසලක ශිෂ්‍ය නිවෙසක නවත්වනු ලැබීමි. අවුරුදු දෙකහමාරක් මම එහි ඉගෙන ගතිමි. ඒ අතර ඉතිහාසය හා ගණිතය ඉතා ස්වල්ප වශයෙනුත්, බයිබල් පාඩම උදේ සිට සවස් වනතුරුත් ඉගෙන ගැනීමට මට අවකාශ ලැබුණි. අපේ පූජක ගුරුවරු "අප මේ රටට ආවේ නුඹලාට ඉංග්‍රීසි ඉගැන්වීමට නො ව, ක්‍රිස්තියානිය ඉගැන්වීමට" යැයි අවංක ව ම මා සමඟ කී ය.

මේ පාසලේ දී දිනක් මගේ පූජක ගුරුවරුන්ගෙන් ඒ නමක් තුවක්කුවක් රැගෙන කුඹුරකට ගොස් කුරුල්ලෙකුට වෙඩි තැබූ විට ඒ අහිංසක සතා බිම වැටෙනු මම බලා සිටියෙමි. එය දැක මම බිය වීමි. තැති ගත්තෙමි. වයස 12 ක් පමණ වූ මම මේ දිනවල දවසට සතර වරක් බයිබලය කියවමින් සිටියෙමි. මේ සිද්දියෙන් ටික දිනකට පසු අපේ පන්තියේ කුඩා ළමයෙකු මිය ගියේය. ඇඳක තැන්පත් කොට තිබුණු ඒ මිනිය දෙස අප බලා සිටිය දී අපේ ගුරුවරයා අපට යාච්ඥා කරන ලෙස කී ය. එවිට ම මට සිහියට නැඟුණේ අහිංසක කුරුල්ලාගේ ජීවිතය නැති කළ සැටි ය. සිතීමේ නිදහස පළමු වරට මගේ සිතෙහි පහළ විය. බයිබලය පිළිබඳ විචාරාත්මක ව බැලීමට ද මගේ සිත නැඹුරු විය.

මගේ සැදැහැවත් බෞද්ධ මවුපියන් මා කතෝලික පල්ලියක පාසලකට යැව්වේ මන්ද? එයට හේතුව ලංකාවේ බෞද්ධ පාඨශාලා බලහත්කාරයෙන් වසා තිබීම ය. වසනු ලැබුවේ පන්සල් පාඨශාලා පරීක්ෂා කිරීම සඳහා රජය කොමිසමක් පත්කර තිබීම නිසා ය. මෙම බෞද්ධ පාසල්වල ඉගෙන ගන්නා සිසුන් ලක්දිව පාරම්පරික සිරිත් විරිත්වලට හා හැඟීම්වලට ගැති වී ඇති බව කොමිසමට පෙනී ගියේය. එහෙයින් බෞද්ධ පාසල් රජය විසින් වසා දමන ලද්දේ, නැතහොත් වසා දැමීමට සැලැස්සුවේ ඒ නිසා ය. මේ නිසා 1870 ට පසු ව සිංහල ළමයින්ට සිය මුතුන් මිත්තන්ගෙන් ලද ආගමික අධ්‍යාපනය නිවෙස්වල දී සිය දෙමාපියන්නේ ලැබීම විනා, එය ලබා ගැනීමට අන් කිසි මාර්ගයක් නො තිබුණේ ය. එපමණක් ද නො ව, ඒ සියල්ලන්ට ම ආගමික නො වන අධ්‍යාපනයක් පවා ලද නො හැකි විය. කුමක් නිසා ද යත්, රජයට අවශ්‍ය තරම් පාඨශාලා විවෘත කිරීමට පුළුවන්කමක් නො තිබුණ නිසා ය. තත්ත්වය මෙසේ තිබිය දී ඒ අඩුපාඩු පිරවීමට ක්‍රිස්තියානි මිෂනාරීහු දිගින් දිගට ම දිවයින පුරා පාසල් විවෘත කිරීමට පටන් ගත්හ. තදින් මර්දනය කරනු ලැබ සිටි සිංහලයන්ට මෙයට විරුද්ධ වීමට ශක්තියක් නො තිබුණි. සිදුවෙමින් තිබෙන්නේ කුමක් දැ යි තේරුම් ගැනීමට පවා සිංහලයන්ට අපහසු විය. බෞද්ධයකු පාඨශාලාවක් පිහිටුවීමට උත්සාහ කළ හොත් මිෂනාරීහු මෙසේ කියති. "මේ තියෙන්නේ දැනට ම පාඨශාලවක්. තවත් එකක් මේ දිස්ත්‍රික්කයේ පටන් ගැනීමට අවශ්‍ය නැත. "මෙයට රජය තවත් එකක් එකතු කරයි. "ඔබේ දිස්ත්‍රික්කයේ දැනට ම එක පාසලක් තිබෙන නිසා තවත් පාඨශාලාවක් විවෘත කිරීමට අවසර දිය නො හැකි ය."

එනිසා එකල කොළඹ විසූ ඒ පරම්පරාවේ අනෙක් බෞද්ධයන්ට වගේ ම මාගේ දෙමව්පියන්ට ද රජයේ හෝ මිෂනාරී පාසලක් තෝරා ගැනීම හැර කළ හැකි අන් දෙයක් නුවූයේ ය. මිෂනාරි පාසලකට මා යවනු ලැබූයේ අවුරුදු හයේ සිට දහය දක්වා කාලය තුළ දී දිනපතා ම මට කතෝලික පූජකවරුන් ඇසුරු කිරීමට මින් අවස්ථාව ලැබිණ. උත්සව දිනවල දී අල්තාර සැරසීමට මගේ පියාගේ උද්‍යානයෙන් මා මල් ගෙන ආ හෙයින් ද, පල්ලියේ නිවාඩු දිනවල පූජාවට මා සැම විට ම සහභාගී වූ හෙයින් ද මම පාදිලි ගුරුවරුන්ගේ ආදරය දිනා ගෙන සිටියෙමි. අපට බොන් බොන් දුන් පාදිලි ගුරුවරු අපට ආදරය දන්වන බව පෙන්වීමට අපගේ හිස් අත ගෑහ. ඒ සමඟ ම ඔවුහු නිතර ම අපට මෙසේ කීහ. "ඔබේ මැටි පිළිම දෙස බලන්න. ඔබ වඳින්නේ මැටිවලට." මේ අසන බෞද්ධ ළමයා ලැජ්ජාවෙන් තම දේශීය ආගමෙන් ඉවත් වෙයි. සිංහල දරුවෝ යහපත් හා කීකරු වූහ. එමෙන් ම සිය ගුරුවරුන්ට ආදරය කළහ. ක්‍රිස්තියානි පූජකවරුන් ඔවුන් කෙරෙහි එතරම් දැඩි ග්‍රහණයක් ඇතිකර තිබුණේ ඒ නිසා ය.

එහෙත් මාගේ ගුරුවරුන්ට මා ගෙදර දී ලද ආගමික පුහුණුවෙන් බැහැර කරලීමට නුපුළුවන් විය. ගෙදරදීත්, පන්සලේදීත් හාමුදුරුවන්ගේ ආශ්‍රය මට ලැබුණි. උන්වහන්සේලා තුළ පැවැති අහිංසක තැන්පත් ශාන්තදාන්ත කාරුණික ගති මා සිත තදින් ඇද ගත්තේ ය. මගේ වාසනාවට මෙන් ඉතාමත් උගත්, ඉතාමත් සිල්වත් හික්කඩුවේ ශ්‍රී සුමංගල මාහිමියන් ආශ්‍රය කිරීමට ලැබුණි. වසර 1911 දී අපවත් වන තුරු ම මම උන්වහන්සේ ඇසුරු කළෙමි.

බුද්ධාගම හා පාලි ඉගැන්වීම පිළිබඳ ව ලංකාවේ තිබුණු ප්‍රධාන ආයතනය වූ විද්‍යෝදය පිරිවෙනේ ආදි කර්තෘ ධුරය ද, ශ්‍රී පාදස්ථානයේ නායක ධුරය ද දැරූ උන්වහන්සේගේ ආශ්‍රයෙන් මට විපුල ප්‍රයෝජන ලැබුණි. අපේ පවුලේ මිත්‍රයෙකු ලෙස වාසය කළ දිනපතා අපට දක්නට ලැබුණු මොහොට්ටිවත්තේ ගුණානන්ද හාමුදුරුවෝ මා කිට්ටුවෙන් ආශ්‍රය කළ අනෙක් හාමුදුරුවෝ ය. වාදී භසිංහලයෙකු වූ උන්වහන්සේ ප්‍රතාපවත් පෞරුෂයකින් හෙබි වූහ. බුද්ධාගමට පහර දුන් ක්‍රිස්තියානීන්ට උන්වහන්සේ පිළිතුරු දීමට පටන් ගත් විට උන්වහන්සේගේ කීර්තිය දිවයින පුරා විහිදෙන්නට පටන් ගත්තේය.

1886 මැයි මාසයේ දී කතෝලික පාසලෙන් ඉවත් වූ මම කොළඹින් සැතපුම් හයක් ඈතින් පිහිටි කෝට්ටේ ක්‍රිස්තියානි නේවාසික පාසලට ඇතුළත් කරනු ලැබීමි. එය ක්‍රිස්තියානි මිෂනාරි පාසලක් විය.

දිනපතා යාච්ඤා කිරීමට ද, ක්‍රිස්තියානි ධර්ම ග්‍රන්ථ ඉගෙන ගැනීමට ද මට සිදු විය. මම අවුරුදු දෙක හමාරක් ම මෙසේ මිෂනාරි වාතාවරණයක කල් ගත කළෙමි. මෙම පාසලේ දී මම බයිබලයේ විවේචකයෙකු වීමි. එහි දී ක්‍රිස්තුස් වහන්සේට පහර දීම දිගින් දිගට ම කරගෙන ගියහොත් මා පාසලින් නෙරපා දමන බවට මට තර්ජනය කරන ලදි.

අපට කන්න දුන් ආහාර පවා ඉතා නරක විය. මා කොතරම් කෙට්ටු වී සිටියා ද යන්න දුටු මගේ පියා මා ඒ නේවාසික පාසලෙන් අස්කර ගත්තේ ය. පාසලෙන් අස් ව මාස දෙකක් ගෙදර සිටීමෙන් පසු මම ශාන්ත තෝමස් විද්‍යාලයට ඇතුළු වීමි. දිනපතා ම ශාන්ත තෝමස් විද්‍යාලයට යෑමේ දී සහ ඒමේ දී මට මිගෙට්ටුවත්තේ හාමුදුරුවන්ගේ පන්සල පසු කරමින් යන්නට සිදු වූයේය. මා පරම විඥානාර්ථ සමාගමත්, සෙන්පතිතුමාත්, බ්ලැවැට්ස්කි මැතිනියත් ගැන දැන ගත්තේ එහි දී ය.


මැට්‍රික් විභාගයෙන්වත් සමර්ථ නො වීම නිසා ශාන්ත තෝමස් විද්‍යාලයෙන් අස් වීමට මට සිදුවිය. හදිසියේ ම පාසලෙන් අස්වීමට හේතු වූයේ මිගෙට්ටුවත්තේ හාමුදුරුවන්ගේ පන්සලට යමින් තිබුණු පෙරහරක් කොටහේනේ ශාන්ත ලුසියා පල්ලි අසලින් යද්දී කතෝලිකයන්ගේ පහර දීමට ලක්වීමෙන් ආරම්භ වූ කැරලිකාර වාතාවරණය යි. භක්තිමත් බෞද්ධයෙකු වූ මගේ පියා මෙම සිද්ධියෙන් කම්පාවට පත් වී මා ක්‍රිස්තියානි පාසලකට යෑම ගැන විරුද්ධ විය. වයස 18 දී මම පාසල් යෑම අත් හළෙමි.

(අනගාරික ධර්මපාලතුමාගේ ස්වයං ලිඛිත චරිතාපදානය ඇසුරිනි.)

No comments:

Post a Comment